Tuesday, May 11, 2010

රෝහණ රාජධාණියේ ප්‍රභවය

(ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා)

අනුරාධපුර යුගයේ ලංකාව බෙදා දැක්වු පාලන ප්‍රදේශ අතර රෝහණය හෙවත් රුහුණු රටට ලැබුනේ සුවිශේෂි ස්ථානයකි. ලංකාවේ පාලන මධ්‍යස්ථානය කේන්ද්‍රගතව තිබු රජ රටෙහි ඇති වු දේශිය මෙන්ම විදේශීය දේශපාලණ ආරවුල් සහගත තත්වයන් හිදි රෝහණයෙන් රජ රට පාලකයන්ට ආරක්ෂාව මෙන්ම ආධාර ද නොමසුරුව ලැබුණි. මහානාග රජුගේ ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථානයක් වීමට මත්තෙන් එහි නාමය ප්‍රභවය වී තිබුණි. එහි ඇරඹුම පණ්ඩුවාසුදේව යුගය දක්වාම දිවයයි. වර්තමාණයේ රෝහණය යන්න කන වැකුනු සැනින් අපගේ අවධාණය යොමු වන්නේ දකුණු පලාත වෙතය. එයින් ද වර්තමාන තිස්සමහාරාමය වෙත යැයි දැක්වීම අතිශෝක්තියක් නොවේ. නමුත් රෝහණයේ දේශ සීමා මහවැලි ගගින් හා කළු ගගින් සීමා වු දකුණු ප්‍රදේශය බවට පෙන්වා දිය හැකිය. මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා පෙන්වා දෙන පරිදි පසු කාලීනව රෝහණ රාජධානියේ දේශසීමා තවතවත් උතුරු දෙසට විහිදෙමින් එය ව්‍යාප්ත වු බවක් දක්වයි. සිංහල කඩයිම් පොත්වලට අනුව රුහුණු පිහිටි මයා නමින් ශ්‍රි ලංකාව ප්‍රධාන කොටස් තුනකට බේදා ඇති අතර එවා පළාත් වශයෙන් කොටස් 144 කට බෙදා ඇත. මෙයින් 44 ක් රුහුණට ද 29 ක් මයා රටට ද 41 ක් පිහිටි රටට ද අයත් විය. තවද ජනප්‍රවාදයන්ට අනුව තුන්සිංහලයේ තුඳුස් ලක්‍ෂ අසු දහසක් (1480000) ගම්මාන වලින් හත් ලක්‍ෂ අසූ දහසක් පමණ(780000) අයත් වුයේ පුරාණ රුහුණටය. ප්‍රාදේශිය වශයෙන් මෙහි පැවති ව්‍යාප්තිය ඉන් තහවුරු වේ. මේ ආකාරයට ලාංකීය ඉතිහාසයේ සුවීශේෂි අවස්ථාවන් රාශියකට පසුබිම සකස් කල රෝහණ රට්ඨයේ තවදුරටත් අතිතයට විහිදි යන තොරතුරු ප්‍රමාණය කිරිම මෙම ලිපියේ අරමුණයි.

උස්කඳු මුදුන් මෙන්ම තැනිතලා හා දිගු වෙරළ බඩ කලාපයකින් මෙම භූමි භාගය අතීතයේ දි පටන් මිනිස් වාසය සඳහා සුදුසු පරිසරයක් සකස් කර තිබුණි. එම නිසා ප්‍රාග් ඓතිහාසික යුගය නියෝජණය කරන සාධක සහිත ස්ථාන අතරින් හතරෙන් තුනක පමන නියෝජනයක් දක්නට ලැබෙන්නේ මෙම ප්‍රදේශය ආශ්‍රිතවය. එසේම අතිත රෝහණයේ අගනුවර ලෙස පිලිගන්නා වර්තමාන තිස්සමහාරාමය සමීපයේ පිහිටි බුන්දල පතිරාජවෙල අසලින් ලංකාවේ ජිවත් වු ආදිම මානවයා පිළිබඳව තොරතුරු හෙලිදරව් වී තිබේ. එම අවශේෂයන්ගේ කාලනිර්ණයන්ට අනුව අදින් වසර එක්ලක්‍ෂ විසිපන්දහසකට වඩා (1250000) එම සාධක පැරණිය. ශිලා යුගයේ පැරණිම අවධිය වන පුරා ශිලා යුගයේ දෙවන අනු කණ්ඩය වන මධ්‍යපුරා ශිලා යුගය එම සාධක නියෝජණය කරන බව ශිලා යුගයේ අවධි බෙදා වෙන් කිරිම අනුව හඳුනාගත හැකිය. මෙම තොරතුරු සොයා ගැනිමෙහි ආචාර්ය ශිරාන් දැරනියගල මහතාගෙන් වු සේවය ඉමහත් ය. ඒ හැරුනවිට මිනිහා ගල්කන්ද, උස්සන්ගොඩ තවත් ඉපැරනි ජනාවාසයන් ලෙස හඳුනා ගත හැකිය.

මෙම ප්‍රදේශයේ මදක් නැගෙනහිරට වන්නට පිහිටි යාල වනේාද්‍යානයේ ලෙන් ද ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුක්ත බව සාධක සහිතව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජෙෂ්ඨ කතිකාචාර්ය ගාමිණි අධිකාරි මහතා සොයාගෙන ඇත.

පුරාශිලා යුගයට පසුව එලඹෙන මධ්‍යශිලා යුගයේ සාධක ද මෙම ප්‍රදේශ ආශ්‍රිතව සොයාගෙන ඇත. මේ අනුව ජනාවාසයන්ගේ අඛන්ඩ ගලායෑමක් දක්නට ලැබේ. ඒ අතර ක්‍රි.පු. විසිනව දහසට (29000) අයත්වන ෆාහියන් ලෙන ක්‍රි.පු. විසිහය දහස් පන්සීය (26500) හා ක්‍රි.පු. දාහතර දහස (14000) නියෝජනය කරන බටදොඹ ලෙන, ක්‍රි.පු. එකොලොස් දහස (11000) නියෝජනය කරන බෙලිලෙන, ක්‍රි.පු. හාරදහස් පන්සීය (45000) නියෝජනය කරන බෙල්ලන්බැදිපැලැස්ස දරණියගල මහතා විසින් සොයාගෙන තිබේ. තවද පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් පල්ලෙමලල සිදු කරන ලද කැණිමකින් වසර පන්දහසක් (5000) ක් පමණ පැරණි මානව අවශේෂයන් සොයාගෙන ඇත.

මේ ආකාරයට රෝහණ රාජධාණිය තුල ප්‍රාග් ඓතිහාසික යුගයේ මානව ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැඩි නියෝජනයක් සිදු වී ඇති බව පෙන්වා දිය හැකිය. එපමනක් නොව එය නොනැවති මුල ඓතිහාසිකය තුල ද එවැනිම ක්‍රියාකාරකම් රාශියක් සිදු වී ඇත. මෙම යුගයේ දක්නට ලැබෙන මෙගලිතික සංස්කෘතිය, යකඩ භාවිතය, අක්ෂර හා අක්ෂර රූප භාවිතය, කළු - රතු මැටි බඳුන් භාවිතය......... ආදි නව සංස්කෘතික අංග හඳුන්වා දිය හැකිය. ඒ අතරින් විශේෂිත වන්නේ ඔවුන් භාවිතා කල සුසාන භූමිය. මෙම සුසාන ප්‍රධාන වශයෙන් දෙයාකාරය. එනම් මෘතදේහ බරණි වල නවා තැන්පත් කිරිම(ඹඍ්භ), දැවීමන් ඉතිරි වු අළු මුටිට් තුල තැන්පත් කර ගල් පුවරු හතරකින් ආවරණය කොට උඩින් ගල් ලැල්ලකින් වසා තැබිම(ීෂීඔ), මෙවැනි සුසාන භූමි සහිත ප්‍රදේශ වශයෙන් බැඹව, කතරගම, හරබත්තෑව, තඹරව දැක්විය හැකිය. මෙම සුසාන සාධක හැරුණු විට යකඩ භාවිතය, කළු රතු වලං භාවිතය ආදි තොරතුරු මුළු මහත් ප්‍රදේශය පුරාම විහිදි යන බව පෙන්වා දිය හැකිය. බලංගොඩ, සමනල වැව මේ අතර ප්‍රධාන වේ. සමනල වැව ප්‍රදේශයෙන් සුලං බලයෙන් ක්‍රියාකරන යකඩ නිස්සාරනාගාර සොයාගෙන ඇත.

රෝහණය සම්බන්ධ වු තවත් ජනප්‍රිය ජනප්‍රවාදයක් ද ඉදිරිපත් කල යුතුය. වාල්මිකිගේ රාමායනයට අනුව ලංකාව හා ඉන්දියාව අතර පැවති දේශපානල අර්බුදයක් පිළිබඳව තොරතුරු හෙලිදරව් වේ. එනම් රාම රාවනා යුද්ධයයි. මෙය ලංකාවෙ අතිශය ජනප්‍රිය ජකප්‍රවාදයකි. එම රාවණාගේ රාජධානිය සම්බන්ධ වූ බොහෝ ස්ථාන එකල සිදුවූ වැදගත් සිදුවීම් අනුව අද ද එම ප්‍රදේශ එම සිද්ධියට අදාලවම හදුන්වනු ලැබේ. බලංගොඩ,දෙදනගල, නුවරඑළිය අශෝක වනය, වැලිමඩ ස්ත්‍රී පුරය, රාවණා ඇල්ල, රාවණා ගුහාව, ගිණිකොන දිග ලංකාවේ පිහිටි රාවණා රාජධාණියේ මුහුදු බත් වූ ප්‍රදේශ ලෙස හදුන්වන රාවණා කෝට්ටේ, හනුමන් විසින් (ඖෂධ අඩංගු) ගෙනෙන ලදැයි සැලකෙන කන්දේ කොටසක් ලෙස සලකන රූමස්සල ආදිය එම ස්ථාන ලෙස පෙන්වා දිය හැකිය. මෙවා රාවණා යුගය සමිබන්ධ ස්ථාන බවට පෙන්වා දිය හැකිය. මෙ පිළිබදව නොයෙක් කතිකාවත් මෙම යුගයේ පැවතුනද එම තොරතුරු තහවුරු වීමක් දක්නට නොමැත.මෙය හුදෙක් ජනප්‍රවාදයක් යැයි බැහැර කල නොහැක්කේ ජනප්‍රවාද ඔස්සේ ගොස් තහවුරු කරගත් පුරාවිද්‍යාත්මක සාධක බොහෝ සෙයින් පවතින බැවිණි.

ඓතිහාසික යුගය සමිබන්ධයෙන්ද මෙම ප්‍රදේශය සතුව පවතින්නේ වැදගත් සාධකයන්ය.රෝහණයේ පිහිටි චන්දනගා‍රමය (සදුන්ගම) යන්නෙහි අරුත හදුන් සහිත ප්‍රදේශය යන්නයි. මෙම ප්‍රදේශය ආශ්‍රිතව පවතින ජනප්‍රවාදයන්ට අනුව අතීතයේ මෙහි රත් හදුන් වනයක් තිබූ බවට තොරතුරු අසන්නට ලැබෙ. මෙම රත් හදුන් හා සම්බන්ධ පුවතක් දිව්‍යාවදානයෙහි සදහන් වේ. ඉන්දියාවේ සිට ලංකාවට (රත්නදීපයට) පුණ්ණ තෙරුන්ගේ සහෝදරයන් පිරිසක් රත් හදුන් රැගෙන යාමට නැව් සමුහයකින් පැමිණේ. ඔව්න් තමනට රිසිසේ රත් හදුන් කපා තම නැවට පටවා ගෙන ඇත. මෙම රත් හදුන් වනයේ අයිති කරු වූයේ ග්‍රාමණී නැමති යක්ෂ ග්‍රෝතිකයෙකි. වනයෙහි මුරකරු වූයේ අප්‍රිය නැමති යක්ෂයෙකි. අප්‍රියගේ දැන්වීමකින් මෙම ස්ථානයට එන ග්‍රාමණී නැව් කන්ඩායම සමග කෝලාහලයක් ඇතිකරගෙන රත්හදුන් තහනමට ලක්නර ඇත.

මෙහි සදහන් ග්‍රාමණී යන යක්ෂ ග්‍රෝත්‍රික නාමය ඉතා වැදගත් වේ. මුල්කාලීන සෙල්ලිපි වලද ග්‍රාමණී යන්න වෙනුවට ගමණී යන්න භාවිතා කර තිබේ. එසේම රුහුණේ සිටි දසභතිකයන්ගේ පියාද එම ලිපියේ හදුන්වා ඇත්තේ ගමණී යනුවෙනි. ගමණී යන නාමය අතීතයේ පටන් භාවිතයේ පැවති බවට එම මූලාශ්‍ර ගත තොරතුරු මෙන්ම සෙල්ලිපි සාධක මතද මේ අනුව තහවුරු කර දිය හැකිය.

බුදුන්වහන්සේගේ පළමු ලංකා ගමනයද සිදුවන්නේ ද රෝහණයේ පිහිටි මහියන්ගනය වෙතටය. එසේම උන්වහන්සේ වැඩමකළ සොළොස්මස්ථාන වලින් වැඩි ප්‍රමාණයක් පිහිටා ඇත්තේ ද මෙම ඓතිහාසික රෝහණයේය. මහියන්ගන පුරයට උන්වහන්සේ වැඩමකලේ යකුන් දමණය කිරිමටය. ඒ අනුව අතීතයේ පටන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව යක්ෂ ගෝත්‍රිකයන් වාසය කල බව සිතිය හැක. මොවුන් යක්ෂ ගොත්‍රීකයන් ලෙස මහාවංශය හඳුන්වන්නට ඇත්තේ ඔවුන් මළවුන් පිදිම, ආදි දේ වල නිරත වු බැවින් විය හැකිය. එසේනම් ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවතෙන මිනිසුනගේ අඛණ්ඩ ගලායෑමක් මෙම යුගය දක්වාම සිදු වී ඇති බව පෙනේ. වර්ථමාණයේ ද වැද්දන්ගේ නිජබිම වන්නේ මහියන්ගන ආශ්‍රිත ප්‍රදේශයයි. විජයාවතරනයෙන් පසු ලංකාවේ උපනිවේෂ පිහිටු වනතරු මොවුන් දම්වැලක පුරුක් මෙන් පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන බව ඒ අනුව පෙන්වා දිය හැක. මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා පෙන්වා දෙන පරිදි මොවුන් දකුණු ඉන්දියාව සමගද මනා සම්බන්ධතාවයක් පවත්ගෙන ගොස් ඇත.

මේ අනුව මොවුන්ගේ ජන ජිවිතය නව සොයාගැනිම් හා තාක්ෂණය අනුව හැඩගැසෙද්දී උතුරු ලංකාවේ තවත් වැදගත් සිදු වීමක් සිදු වේ. එනම් බුද්ධ පරිනිර්වාන දිනයේ විජය ඇතුළු 700 ක පිරිසක් ලංකාවේ තම්මැන්නාවට ගොඩ බැසිමයි. එම සිදුවීම උතුරට තරම් රුහුණට බල නොපාන්නේ ඔවුගේ ජනාවාස උතුරු ලංකාවට සීමා වු බැවිනි. පණ්ඩුවාසුදේව රජ සමයෙහි රෝහණය සම්බන්ධ වැදගත් සිදු විමක් සිදු වේ. එනම් මෙම ප්‍රදේශයට එන නාමය ලැබුනු පුවතයි. පණ්ඩුවාසුදේවට බිරිදක් ලෙස භද්දකචිචායනා කුමරිය පැමිණිමේ දි ඇගේ සහෝදර පිරිසක් ද පැමිණ ඇත. මෙම සහෝදර පිරිස සුද්දෝධන රජුගේ සහෝදර අමිතෝදන ශාක්‍යාගේ පුත් වු පණ්ඩුගේ දූ දරුවන්ය. එසේ පැමිණි පිරිස ගෝකණ්ණ වරායෙන් ගොඩබැස සහෝදර පිරිස මහවැලි ගඟ ඔස්සේ දකුණු දෙසට ගමන්කර ඇත. ඉන්පසු ඔවුන් තම තමන්ගේ නමින් මෙහි ජනාවාස පිහිටුවාගෙන ඇත.

මහාවංසය සඳහන් කරන පරිදි රාම විසින් රාම ගෝණයද, උරුවෙල විසින් උරුවෙලද, අනුරාධ විසින්- අනුරාධ නගරයද, විජිත විසින් විජිත නගරයද, දිඝායු විසින් - දිඝායු නගරයද, රෝහණ විසින් රෝහණ නගරය ද පිහිටුවාගෙන ඇත.

අප මෙතෙක් කරුණු සාකචිඡාකල රෝහණ රාජධානියේ නාම ප්‍රභවය සිදු වන්නේ ඉහත දැක්වු පරිදි රෝහණ ශාක්‍යා විසින් තම නමින් මෙහි ජනපදයක් පිහිට වු දා සිටය. විජය නමැති චෝලයකුගෙන් ඇරඹිනැයි පැවසෙන රාජවංශය වෙනස් කර නව ඔක්කාක(ශාක්‍ය) වංසික රජ පරම්පරාවක් අනුරාධපුරයේ බිහිවන්නේ රෝහණ රාජධානියේ මුලිකත්වයෙනි. දිඝායු නමින් ජනපදයක් පිහිටුවා ගත් දිඝායු කුමරුගේ පුත් දිඝගාමිණි උතුරු රාජධානියේ පණ්ඩුවාසුදේව හා බද්දකචිචායනා ගේ දියනිය වන උන්මාද චිත්‍රාවන් සමඟ රහස් සම්බන්ධතාවයක් ඇතිකර ගනි. එහි ප්‍රථිපලය වන්නේ පණුඩුකාභය නමින් ශාක්‍ය කුමාරයකු බිහිවීමයි. ඔහු යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහයෝගය ඇතිව උතුරේ පැවති රාජවංශය විනාශ කරදමා අනුරාධපුරය ප්‍රථම වරට අගනගරය කරගනිමින් නව රාජවංශයක් ආරම්භකරනු ලබයි.

ඉන්පසු නැවතත් රෝහණය පිළිබඳව වැදගත් තොරතුරු සඳහන් වන්නේ දේවානම්පියතිස්ස රජ සමයේදිය. මහින්දාගමනය හා දුමින්දාගමනය මගින් ඇති වු නව ආගමික සංස්කෘතික ප්‍රබෝධය රෝහණය පුරාවට ද ව්‍යාප්ත වි ගියේය. එසේම ශ්‍රි මහාබෝධී ශාඛාවේ අෂ්ඨඵල රුහ වලින් 2ක් රෝහණයේ චන්දන ග්‍රාමයේ හා කාචරග්‍රාමයේද රෝපනය කරන ලදී.

මෙම ආගමික ප්‍රබෝධය මෙන්ම රජ මැදුරේ සිදු වූ දේශපාලන කුමන්ත්‍රණක් නිසාද නැවත රෝහණය වැදගත් වේ. දේවානම්පියතිස්ස රජුගේ බිසව තම පුත් කුමරාට රාජ්‍ය ලබාදීමෙ අරමුණින් රජුගේ වැඩි මහල් සොහොයුරා වූ මහානාග කුමරා මැරවීමට උපක්‍රම යොදයි. එයට හොදම අවස්ථාව ලෙස මහානාග කුමරු වලස්වැව ඉදිකිරීමෙ යෙදී සිටින අවස්ථාව යොදා ගනී. විෂ අඹයක් සහිත අඹ පැසක් දේවිය විසින් එම ස්ථානයට යවනු ලබයි. මෙම අවස්ථාවට දේවානම්පියතිස්ස රජුගේ පුත් කුමරාද සහභාගී වී සිටියේය. අඹ පැස දුටු විගසම ඔහු විසින් පැසෙහි තිබූ විෂ සහිත අඹය අනුභව කලේය. එකෙනෙහිම කුමරා මිය ගියේය. මෙය තමන් මැරීමට යෙදූ උපායක් බව වටහා ගන්නා මහානාග කුමරු තම බිරිද හා සේනාව සමග රෝහණයට පලා ගියේය. ඒ යන අතර මග යටාලය විහාරයේදී තම ගැබ්බර දේවිය පුතෙකු බිහි කලේය. එතැනින් මාගමට යන ඔහු එය මුල් කරගෙන ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථානයක් පිහිටුවා ගනී. මෙ අවස්ථාව වන විට අවට තවත් ප්‍රාදේශීය රාජ්‍ය තිබුණු බවට තොරතුරු හෙලි දරව් වේ. ඒ අතර කතරගම දසබතිකයන් ප්‍රධාන තැනක් ගනී. මේ බව මූලාශ්‍ර ගත තොරතුරු මගින් මෙන්ම සමකාලීන ශිලා ලේඛන මගින්ද තහවුරු වේ. මහානාගගෙන් පසු යටාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස පිලිවෙලින් රෝහණයේ බලයට පත්වේ. පරණවිතාන මහතා යටාලතිස්ස හා ගෝඨාභය සහෝදරයන් බවට කුසලානකන්ද සෙල්ලිපිය අනුව පෙන්වා දෙයි. ගෝඨාභය රජු දවස කතරගම දසභතිකයන් මරා දැමූබව මූලාශ්‍ර තොරතුරු සදහන් කරයි. ඔහු තම පාලන ප්‍රදේශ ව්‍යාප්ත කිරීමටගත් උත්සාහයක් මෙහිදී ස්ඵුට වේ.

මෙම දසභතිකයන්ගේ පියා ලෙස හදුනා ගෙන ඇත්තේ (බෝවත්තේගල හා කොටාදැමූහෙල ලිපි අනුව) ග්‍රාමණී නැමති අයෙකි. ඉහතින් විස්තර කිරීමට යෙදුනු දිව්‍යාවදානය පුණ්ණ කථා වස්තුවෙන්ද සදුන්වනයක් අයිතිව සිටි ග්‍රාමණී කෙනෙකු පිලිබදව තොරතුරු සදහන් කෙරුණි. ඒ අනුව අතීතයේ පටන් පරම්පරාවෙන් පරම්පරාවට ග්‍රාමණීවරු මෙම ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයන් බවට පත්වු බව පෙනේ. ග්‍රාමණී යන්න මේ අනුව තනතුරු නාමයක් වශයෙන්ද දැක්විය හැකිය. බෝවත්තේගල ලිපියෙන් හා දිව්‍යාවදානයෙන් පවසන්නේ එවැනි ග්‍රාමණී නම් පාලකයන් කොටසක් පිලිබදව විය හැකිය.

ගෝඨාභයට පසුව රෝහණයේ බලයට පත්වන්නේ මෙහි ජේෂ්ඨතම පාලකයා බවට අවිවාදයෙන් සදහන් කලහැකි කාවන්තිස්ස රජුය. මෙම රජ්‍ය කාලය වැදගත් වීමට බලපාන තවත් සාධකයක් වන්නේ මේ වන විට උතුරේ රාජධානිය සොලීන් අතට පත් වීමයි. ඒ අනුව සියළුම සිංහල හා බෙද්ධාගමික ප්‍රවාහය රෝහණය මුල්කරගෙන ගොඩනැගී ඇත. මේ වන විට සදගිරිය, යටාලය, තිස්සමහාරාමය, සිතුල්පව්ව, සදගල, බෙරලිහෙල........ ආදී විශාල ආගමික මධ්‍යස්ථාන සංඛ්‍යාවක් රෝහණය මුල්කරගෙන ගොඩනැගී තිබුණි. මේ හැරුණු විට තවත් විශේෂ සිදුවීමක් වන්නේ මෙම යුගයේදී දළදා වහන්සේලා දෙනමක් රෝහණයට වැඩම කරවීමයි. දකණු දළදාව වන එයින් එකක් සෝමාවතියේද යටි වම් දලදාව තිස්සමහාරාමයේද නිධන් කර ඇත. (මෙම වම් යටි දලදාව ලැබීම පිලිබදව සාධක මහින්ද ඈපාගේ කිරින්ද අසල පිහිටි ටැම් ලිපියක් මගින්ද තහවුරු වී ඇත.) එසේම කාවන්තිස්ස රජු රෝහණයේ බලය ව්‍යාප්ත කිරීමටද කටයුතු කලේය.

එයට ඔහු තෝරා ගත් මාර්ගය වූයේ ආගමික දේශපාලනික හා විවාහ සම්බන්ධතා ඇති කර ගැනීමයි. එ අනුව සේරු නුවර සිව ලෝණ නුවර මහානාග හා සෝම නුවර අභය තමන්ට අවනත කර ගන්නා ලදී. එසේම උතුරේ ඇති දවිඩ පාලනයෙන් ලංකාව මුදවා ගැනීමට ප්‍රබල යුද්ධ හමුදාවක්ද ආයුධ නිෂ්පාදනය කිරීමෙන්ද කෟෂිකර්මාන්තය නගා සිටුවීමෙන්ද කටයුතු කලේය. මේ ආකාරයට සියළු කටයුතු සංවිධානය කරගෙන යාමේ දී එතුමා අභාවයට පත්වේ. මහාවංශය නිර්ධය ලෙස එතුමන්ව ව්වේචනයට ලක්කලද අනුරාධපුර ජයග්‍රහණය පිටුපස සිටි අදෘශ්‍යමාන හස්ථය ඔහු යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඉන්පසු රෝහණයේ බලය එතුමන්ගේ දෙටු පුත් දුටු ගැමුණු කුමරුට හිමි වේ. එතුමන් දියත් කරන යුදව්‍යාපාරය මගින් ලංකාව සොලී පාලනයෙන් නිදහස් කරගනී. ඉන්පසු අනුරාධපුරයේ අගරජු වශයෙන් ඔහු පත්වන අතර රෝහණය තම සහෝදරයා වන සද්ධාතිස්ස කුමරු යටතේ පාලනය කරවනු ලබයි. මින්පසු රෝහණය අනුරාධපුර රාජධානියේ ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථානයක් වශයෙන් උපරාජයකු යටතේ පාලන කටයුතු මෙහෙයවනු ලැබෙ. මෙම තත්වය අනුරාධපුර පොලොන්නරු පාලන සමයන්හිදී නිරවුල්ව මෙන්ම විවිධ අර්බුධ මධ්‍යයේ පැවතිණි.

එක් විටෙක රෝහණය අනුරාධපුර රාජධාණියෙන් මිදී ස්වාධිනවද නැගිසිටියේය. හතරවන කාශ්‍යප රජ දවස මෙහි උපරාජධුරයට පත්වන ආදිපාද මහින්ද යුගය එවැනි අවදියක් ලෙසට පෙන්වා දිය හැකිය. එසේම රජරට ඇතිවු සිවිල් මෙන්ම විදේශිය දේශපාලන ආක්‍රමණ වලදි ද රෝහණයේ උපරිම සහය රජරට පාලකයන්ට ලැබුනි. වට්ටගාමිණි අභය, ධාතුසේන, හතරවන උදය, පස්වන මහින්ද එසේ ආරක්ෂාව පතා රුහුණට පලා ආ පාලකයෝය. එසේම පළමුවන විජයබාහු රජු ලංකාව චෝලයන්ගෙන් නිදහස්කර ගැනිමේ විරෝධාර යුදව්‍යාපාරය ආරම්භ කලේද රෝහණය මුල් කරගෙනය.


සද්ධර්මාලංකාරයේ රුහුණ පිළිබඳ එන වර්ණනාවක් පහත දැක්වේ. එය එහි දම්මසවනොපාසිකා වස්තුවෙන් උපුටා ගන්නා ලදි.

‛‛මෙම ලක්දිවැ රුහුණු ජනපදයෙහි නොයෙක් සිය දහස් ගනන් භික්ෂු, භික්ෂුණින් විසින් ගැවසි ගත්තා වු නොයෙක් සිය ගනන් විහාරාරාමයෙන් හා රත්රන් අමුරන් මුතු මැණික් ආදි වු නානාප්‍රකාර සම්පත්ති සමුහයෙන් සමෘද්ධ වු ඉසුරුමත් මහජනයාගෙන් ගැවසි ගත්තා වු සත්රුවනින් විසිතුරු සොඳුරු මනහර කොත් සමුහයෙන් බබලන්නා වු මුදුන් කුළු පෙලින් හා නානාප්‍රකාර විචිත්‍රචිත්‍ර කර්මාන්තයෙන් සොභාවත් වු දෙමහල් තුන්මහල් ආදි කොට ඇති නොයෙක් මහලින් ගැවසිගත්තා වු තිස්ලක්ෂයක් පමන වු ගෘහමාලාවෙන් විභූෂිත වු නොයෙක් සිය ගනන් වීථි පන්තීන් සොභමානව දිවනළුවන් වැනි නාටක ජනයන් විසින් පවත්වන ලද නෘත්‍යගිතවාදයෙන් නිරතුරුව මහජනයා සන්තෘෂ්ට කරන්නා වු එකාවන්ව දාන ක්‍රිඩායෙහි නියුක්ත අනෙක ප්‍රකාර මහජන සමුහයන්ගෙන් ගැවසි ගත්තා වු බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන් අරඹයා කරන ලද පුරා සත්කාරයෙහි නිරන්තරයෙන් තත්පර වු ශ්‍රද්ධාසම්පන්න මහජන සමුහයාගේ නිරන්තර සංචාර ඇති කුසල සමාදානයෙහි ලොභයෙන් ඒ ඒ තන්හි ඇවිදිනා ශ්‍රද්ධාසම්පන්න පින් සොඳවු මහ ජනයන් විසින් සන්තෝස ගිතීකා වසයෙන් පවත්වන ලද සාධු නාදයෙන් එක නින්නාද වු මාගම යැයි ප්‍රසිද්ධ පරම රමණිය වු මහගමෙක්විය.’’

සද්ධර්මාලංකාරය, ධම්මසවණොපාසිකාවස්තුව. (පිටු 456-457).


මේ අකාරයට බලනකල ලංකා ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් මෙම භූමිභාගයේ පැවති වැදගත්කම පෙන්වා දිය හැකිය. දේශපාලන ආගමික, ආර්ථික හා සියළු සංස්කෘතික අංගයන්ගේ විප්ලවීය අවස්ථාවන්ට රෝහණය සෑම අතින්ම සම්බන්ධ වී පැවතිනි. එසේම එය ලංකා ඉතිහාසයේ හද ගැස්ම බවටද පත්ව තිබිණි.

Tuesday, May 4, 2010

ශ්‍රි ලංකාවේ ජනාවාසකරණය පිළිබඳව හමුවන පුරාවිද්‍යාත්මක සාධක

ලංකාවේ ජනාවාසකරණය අදින් වසර ලක්ෂ ගණනකින් එපිට ට දිවයයි. පුරාවිද්‍යාත්මක කැණිම් මගින් ද්‍රව්‍යාත්ම සාදක ඔස්සේ මේ බව මෙවන විටත් තහවුරු කර තිබේ. විශේෂයෙන් තෙත් කළාපය පුරාවට සහ වියළි කළාපයේ මෙම ජනාවාස ව්‍යාප්ත වු බව එම සාධක ඔස්සේ තහවුරු කරගත හැකිය.

ඔනෑම රටක ඉතිහාසයක් යන්න යොදනු ලබන්නේ එම රටෙහි ලිඛිත මුලාශ්‍ර හමුවනතාක්ය. එ නිසා ලෝකයේ විවිධ රටවල මෙය වෙනස් අකාරයකින් දක්නට ලැබේ. ලංකාවේ ඓතිහාසික යුගය ආරම්භ වන්නේ ක්‍රි.පු. 3 වන සියවසෙනි. ඒබ ව තහවුරු වන්නේ ක්‍රි.පු. 3 න සියවසට අයත් සෙල් ලිපි හමුවීමත් සමගය. නමුත් ඓතිහාසික මුලාශ්‍රවල ආරම්භය සිදුවු කාල පරිච්ඡේදය යම් රටක ජනාවාස වීමට සමාන නොවේ. මන්ද යත් ජනාවාස කරණයේ මුල් අවස්ථාවේ ලිඛීත භාෂාවක් දක්නට නොලැබෙන බැවිනි. එනිසා ඕනෑම පැරණි සමාජයක් ම ලිඛිත මුලාශ්‍රයන්ගෙන් තොර කාලපරිච්ඡේදයක් තුල ජීවත් වී තිබේ. එම කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් එසේත් නැතහොත් ඓතිහාසික යුගයට පෙර කාල සීමාව සම්බන්ධයෙන් තොරතුරු හදාරනු ලබන ප්‍රධාන විෂය වන්නේ පුරාවිද්‍යාවයි. මෙහිදී ඉතිහාසඥයා ලිඛීත මුලාශ්‍ර භාවිතා කරන අතර පුරාවිද්‍යාඥයා ද්‍රව්‍යාත්ම සාධක අතීතය ගොඩනැගිමෙහිලා භාවිතා කරනු ලැබේ.

ප්‍රාග් ඉතිහාසය ප්‍රධාන වශයෙන් කොටස් 3 කට වෙන්කෙරේ.

01. පූර්ව ශිලා යුගය
02. මධ්‍ය ශිලා යගය
03. නව ශිලා යුගය

මෙම අවධි සම්බන්ධයෙන් කතා කරන විට මුල් අවධි දෙක පිළිබද සාදක ලංකාවෙන් ලැබී තිබේ. නමුත් ලංකාවේ නව ශිලා යුගයක් පැවතියේ ද යන්න ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයන් තුල යම් සැකයක් පැන නැගී ඇත. මේ වන විට ඒ බව නිශ්චිත වශයෙන් ම තහවුරු කරගෙන නැත.

ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේ ඉතිහාසය 19 වන සියවසේ අග භාගය දක්වා ම දිව යයි. මුල් යුගයේ එහි මුල් තැනක් ගනු ලැබුයේ විදේශීයන්ය. නමුත් පසුකාලිනව මෙම ක්‍ෂේත්‍රයේ කැපි පෙනෙන දේශිය විද්වතුන් දෙදෙනෙකු අපට හදුනාගත හැකිය. එනම් පී.ඊ.පී. දැරණියගල මහතා හා ඔහු පුත් එස්.යූ. දැරණියගල මහතාය. මොවුන් සිදුකරන ලද පර්යේෂණ මගින් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය සම්බන්ධ නවමු තොරතුරු රාශියක් ලොවට හෙලි කළේය.
ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධ තොරතුරු පුරාශිලා යුගය දක්වාම දිව යනු ලැබේ. ශිරාන් දැරණියගල මහතාගේ විශ්වාසය අනුව අදින් වසර ලක්ෂ තුනත් ලක්ෂ පහත් තරම් පැරණි සාධක පුරාතන වෙරළබඩ ආශ්‍රිත වැලිබිම් වලින් හමුවිය හැකිය. ඔහු පවසන පරිදි මේ වන විට ශ්‍රී ලංකාවේ වෙරළබඩ තීරයන් සම්බන්ධ කළාප වලින් අදින් වසර 125000 ක් පමණ පැරණි ජනාවාස සාධක සොයාගෙන තිබේ. මෙම සාධක සොයාගෙන ඇත්තේ බුන්දල අසල වෙරළ තිරයෙනි. මෙහි තිබී කහඳ හා තිරුවානා පතුරු මගින් කරන ලද ආයුධ සොගෙන ඇත.

මෙ පස් තැන්පතුව හදුන්වන්නේ ‛‛ඉරනමඩු පස් සැකැස්ම’’ නමිනි. ඉරනමඩු ප්‍රදේශයේ දක්නට ලැබෙන මෙම පස් තැන්පතුව ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල එයට සමාන පස් තැන්පතු හැදින්වීමේ දි මෙම ඉරනමඩු සැකැස්ම යනුවෙන්ම භාවිතා කරනු ලැබේ. එනිසා ලංකාවෙ පැරණිම ජනාවාස රටා හදුනා ගැනීමට හැකිවන වන මෙම ඉරණමඩු පස් සැකසුම් ලංකාවෙ උතුරු දිග ප්‍රදේශයේ මාන්කුලම් හා ඉරනමඩු පදේශයේත් වයඹ දිග විල්පත්තුව අවට එළුවන්කුලම කල්පිට්ය ඇතුළු කලාඔය හා මෝදරගම් ආරු අතර වෙරළ තීරයේත් ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ බූන්දල පතිරාජවෙල හා මිනිහාගල්දන්ද ඇතුලත් යාල ජාතික වනෝද්‍යානය අවට කලාපය තුලත් පැතීරීතිබේ මෙය ඉරණමඩු පාංශු ව්‍යුහය නමින් හදුන්වා දී ඇත්තේ ආචාර්ය ශිරාන් දැරණියගල මහතාය

මෙම අවධියට අයත්වන ගල් මෙවලම් හැරුනු කොට මානව හෝ සත්ව අවශේෂ කිසිවක් හමුවී නැත ඒවා විනාශයට පත්වී තිබේ මෙම යුගයේ ජීවත් වූ මානව වර්ගයා හෝමෝ සේපියන්ස් බවට අනුමාන කෙරේ මෙම කාල සීමාව තුල ලංකාවේ දකුනු දිග වියලි කලාපයේ නැගෙනහිර ප්‍රදේශයේ ජනගහනය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 1.5 ත් 0.8 ත් අතර සංඛ්‍යාවක් වු බව තක්සේරු කර ඇත පහත රට තෙත් කලාපයේ ජන ගනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 0.1 හෝ ඊට අඩු වන්නට ඇත දැඩි නියන් සමයන් තුල මේ තත්වය තවත් අඩු වන්නට ඇතැයි පුරාවිද්‍යා ඥයෝ අනුමාන කරති.
මින් පසු එලඹෙන මධ්‍යශිලා යුගය පිළිබදව තොරතුරු ලංකාවේ පහත රට තෙත් කලාපයේ ප්‍රාග්ඓතිහාසික ගල් ලෙන් වල කරන ලද පර්යේෂන මගින් අනාවරනය කරලෙන තිබේ. එම ස්ථාන අතරින් පාහියන් ලෙන, (අදින් වසර 34000-5000) කුරුවිට බටදොඹ ලෙන,(අදින් වසර 28500- 11500) කෑගල්ලේ අත්තනලොඩ අසල අළුලෙන, (10500) ඉතාමත් වැදගත් තැනක් ගනී මෙහැරුණු විට 2009 වර්ෂයේ සිදුකරන ලද අත්තනගල්ලේ අලවල පොත්ගුල්ලෙනහි සිදු කරන ලද ප්‍රාග් ඓතිහාසික ගුහා කකීම මගින් අදින් වසර 13000 ක් පමන පැරණි සාධක සොයාගෙන තිබේ.
ගල්ලෙන් ස්ථාන හැරුණුකොට බෙල්ලන්බැදිපැලැස්සේ සිදුකරන ලද කැණීම් මගින් වසර 6500 ක් පමණ පැරණි සාධක සොයාගෙන තිබේ.

මෙම කැණීම් මගින් අනාවරනය කර ගත් සාධක බොහෝය. ඒ අතර විවිධ කාල පරිච්ඡේදයන් නියෝජනය කරන මනව ඇට සැකිලි, ගල් ආයුධ, සත්ව හා ශාඛ කොටස් ආදී බොහෝ තොරතුරු ප්‍රමාණයක් මේ මගින් අනිවරනය කරගෙන තිබේ.

ඉහතින් දැක් වූ පරිදි මෙම කාල සීමාවට අයත් වන ඇට සැකිළි අතරින් පැරණිම අවශේෂ හමුවන්නේ බුලත්සිංහල පාහියන්ගල ලෙනින්ය. මේවා අදින් වසර 34000 ට වඩා පැරණිය. මේ හැරුනු විට අනිකුත් ස්ථාන වලින්ද මානව අවශේෂ සොයාගෙන තිබේ. ලංකාවෙන් හමුවන මෙම ප්‍රාග් ඓතිහාසික මිනිසා බලංගොඩ මානවයා නමින් හැදින්වේ. බලංගොඩ ආශ්‍රිත ප්‍රාග් ඓතිහාසික ස්ථාන වලින් ඔවුන්ගේ මානව අවශේෂ හා සංස්කෘතික අවශේෂ හමු වූ බැවින් බලංගොඩ සංස්කෘතිය යන්න ඊට යොදා තිබේ. මෙම පරපුරේ සාමාන්‍ය මිනිසකුගේ උස දළ වශයෙන් සෙ. මී. 174කි. ගැහැනියකගේ සාමාන්‍ය උස සෙ. මී. 166 කි. ඉදිරියට නෙරූ තල්ල, රළු අස්ථි, ඝන හිස්කබල, පහතට නෙරූ නාස්පුඩු, කෙටි නිකට හා විශාල දත් හදුනා ගත හැකිය. මෙම ලක්ෂන විශේෂයෙන් වැදි ජනතාව තුලින්ද හදුනා ගත හැකිය. මෙම ජනාවාස ලංකාවේ විශාල ප්‍රදේශයක හදුනාගෙන තිබෙ.

මාඑලිය ආදී වගුරු බිම් වලත්, සීතල උස්සානු වලත්, විල්පත්තු මන්නාරම වැනි ශුෂ්ක ප්‍රදේශ වලත්, සබරගමුව වැනි තෙත් කලාපවලත් දක්නට ලැබේ. සාමාන්‍යයෙන් මෙම ජනාවාසයක් කුඩාය. ඒවා වර්ග මීටර 50 ට වැඩිවන් නේ ඉතාමත් කලාතුරකිනි. බොහෝ විට න්‍යෂ්ටික පවුල් දෙකකට ඒවා සීමාවිය.

වාර්ෂිකව වෙනස්වන සෘතු අනුව මොවුන් තැනින් තැනට ගමන් කලා මෙන්ම ආහාර රටාවද වෙනස් වන්නට ඇත. එසේම ඉතා ඈතින් පිහිටි ජනාවාස සමගින් කිසියම් ගනුදෙනු කිරීමක්ද සිදුකල බවට සාධක සොයා ගෙන ඇත. මෙහිදී දව්‍ය හුවමාරු ක්‍රමයක් පැවතියේද යන්න සොයා බැලිය යුතුය. මන්ද යත් මුහුදු බෙලිකටු මුහුදු මත්ස්‍යයන්ගේ අවශේෂ මෙම ලෙන් කැණීම් මගින් සොයාගෙන තිබේ. ලුණුවල නිතර දක්නට ලැබෙන මෙම බෙල්ලා මගින් පැහැදිලි වන්නේ මොවුන් ලුණු රැගෙන ආ බවයි. විශේෂයෙන් තෙත් කලාපයට පමණක් සීමා වූ ඇකාවුස් බෙල්ලන් වියලි කලාපයේ ප්‍රාග් ඓතිහාසික කැණීම් වලින් හමුවීමෙන්ද පැහැදිලි වන්නේ ඔවුන් එම ප්‍රදේශ වලට රැගෙන විත් ඇති බවයි. බටදොඹලෙනින් මඩු මත්ස්‍යයකුගේ වලිග ඇටයක් හමුවී තිබේ.

මොවුන්ගේ විවිධ අභිචාර ලක්ෂණයන්ද හදුනාගෙන තිබේ. එයට හොදම සාධකය හමුවන්නේ රාවනාඇල්ල ගුහාවෙන්ය. එහි තිබූ හිස්කබල දෙකට බෙදෙන සේ හිල්විද තිබුණි. එසේම ගොරෝසු තැන් හා නෙරාගිය කොටස් උලච්චිකර සමතලා කරතිබේ. එහි එක් පැත්තක් රතු ගුරුගල් වලින් පාට කර තිබණි. පාහියන්ගලින් හමු වූ මිනිස් ඇටසැකිල්ලකද ගුරුගල් ආලේප කර තිබෙනු දක්නට ලැබුනි.

බලන්ගොඩ සංස්කෘතියේ මානවයන් ගල් ආයුධ නිෂ්පාදනය බහුල වශයෙන් කර තිබේ. එහිදී ප්‍රධාන මාධ්‍ය වී ඇත්තේ තිරුවානාය. සුළු වශයෙන් කහද පාෂානය භාවිතා කරතිබේ. මෙම තිරුවානා ජල පහරවල් වල තිබී පහසුවෙන් සෙයාගෙන තිබේ. මධ්‍යශිලා අවධිය නියෝජනය කරන ප්‍රධානතම ගල්මෙවලම් සම්ප්‍රදාය ජ්‍යාමිතික ස්වරූපී ගල් මෙවලම් සම්ප්‍රදාය වශයෙන් හදුන්වනු ලැබේ. මෙම මෙවලම් ත්‍රිකෝණාකාර, චන්ද්‍රාකාර, ත්‍රුපීසියම්කාර, වශයෙන් හදුනාගෙන තිබේ. කැපීම, ඉරීම, සීරීම, ආදී කටයුතු සදහා මේවා බහුල වශයෙන් භාවිතා කරන්නට ඇත. ගල්මෙවලම් හැරුනු විට අං වලින් හා අස්ථි කොටස් වලින් කරන ලද ආයුධ ද හදුනාගෙන තිබේ. මේවා අදින් වසර 28000 ක් පමණ පැරණිය. සත්ව ඇටකටු මගින් උල් ආයුධ විශාල වශයෙන් නිපදවා ඇත. මේවා විවිධ කාර්යයන්ට භාවිතා කරන්නට ඇත. එසේම ආභරන වශයෙන් සකස්කරන ලද මුහුදු බෙලිකටු පබළු කුරුවිට බටදොඹ ලෙනින් හා අලවල පොත්ගුල් ලෙනින් සොයාගෙන තිබේ.

මෙම ලෙන් මගින් සත්ව හා ශාක කොටස් පිළිබදව තොරතුරු ආවරණය කරගෙන තිබේ. එමගින් මොවුන්ගේ ආහාර රටාව පිළිබදව තොරතුරු ලබාගත හැකිය. ආහාරය සදහා දඩයම ප්‍රධාන වන්නට ඇත. අලි පැටවුන්, ගවරා, කුළු මීහරකුන්, කළු වලහා, ඌරා, ගෝනා, තිත් මුවා, මී මින්නා, ඉත්තෑවා, හාවා, දඩුලේනා, හම්බාවා, මුගටියා, උරුලෑවා, වඳුරා, වළි කුකුළා, හබන් කුකුළා, පිඹුරා, තලගොයා, විවිධ ඉබි වර්ග, මිරිදිය මිළු වර්ග හා ගස්වල බෙල්ලන් මොවුන් දඩයම් කරන්නට ඇත.

එසේම සත්ව ආහාර අතර කැකුන, කටුඅල , වල් දෙල්, ඇටි කෙහෙල්, ආහාර සදහා ගන්නට ඇතැයි පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. පිළිස්සූ වල්දෙල් ඇට හා ඇටිකෙසෙල් වල අවශේෂ කිතුල්ගල බෙලිලෙණින් සොයාගෙන තිබේ.
මේ අනුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මානවයා සම්බන්ධ පුළුල් තොරතුරු රාශියක් සෙයාගෙන තිබේ. විද්‍යාත්මක කාලණීර්නයන්ට අනුව ඒවා තහවුරු කරතිබේ. මේ අනුව ලංකාවේ ජනාවාස බිහිවීම හා ජනාවාස ව්‍යාප්තියසම්බන්ධ තොරතුරු වසර දහස් ගනගකින් ඈතට ඇදී යන අයුරු පෙන්වා දිය හැකිය.
මධ්‍යශිලා යුලයෙන් පසු එක් වරම යකඩ යුගයකට පිවිසුනේ යැයි මෙතෙක් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයන් විශ්වාස කර තිබේ. මධ්‍ය ශිලා යුයෙන් පසු එළබෙන නව ශිලා යුගය පිළිබදව නිශ්චිතව සාධක ලංකාවෙන් ලැබී නැත. එච්. ඩබ්. විජයපාල මහතා විසින් සිදු කරන ලද දොරවක කැණීම මලින් නවශිලා යුගයක් සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කර ඇත. මේ වන විට ඒ සම් බන්දයෙන් බොහෝ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබෙ. එම කැණීම මගින් ලැබුණු ශිලා ආයුධ සමග මැටි බඳුන් කොටස්ද ධාන්‍ය වර්ගද ලැබී තිබේ. ඒ අනුව නව ශිලා යුගයේ ලක්ෂණයන් මෙම කැණීම මගින් තරමක් දුරට හදුනාගෙන තිබේ. වාරණ හා පිළික්කුත්කුව සිදු කරන ලද කැණීම් මගින්ද මේ සම්පන්ධයෙන් යම් ආලෝකයක් ලැබී තිබේ.

මේ අනුව බැලීමේදී ලංකාවේ ජනාවාස බිහිවීම විජයාවතරනය සමග ආරමිභ වන්නේයැයි වංශ කථාවල සදහන් වුවද පුරාවිද්‍යත්මක තොරතුරු අනුව තවත් වසර දහස් ගනනකින් ඈතට දිව යන්නේය.මෙම තොරතුරු හැරුනු විට ඉදිරියේදී සිදු කරනු ලබන ප්‍රාග්ඓතිහාසික කැණීම් මගින් තව දුරටත් ලංකාවෙ ජනාවාස පිළිබදව කරුනු සොයාගත හැකිය.





















































සිතියම හා සැලසුම් එස්. යූ. දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියෙන් උපුටා ගන්නා ලදී.